Home » දේශීය පිටිය » දිමුත්, ධනංජය සමඟ ගොඩනැගූ ඉනිම ශ්‍රී ලංකා මැදපෙළ විනාශ කර දමයි..

දිමුත්, ධනංජය සමඟ ගොඩනැගූ ඉනිම ශ්‍රී ලංකා මැදපෙළ විනාශ කර දමයි..


තරගාවලිය පරාජය වී තිබුණද ශ්‍රී ලංකාවේ ගෞරවය රැකගැනීමේ සටනක නිරතවූ දිමුත් කරුණාරත්න (83) සහ ධනංජය ද සිල්වා (73) ශ්‍රී ලංකාවේ බලාපොරොත්තු අලුත් කළහ. එහෙත් තේ පානයෙන් පසුව තරගය තනි අතින් කණපිට පෙරළූ අදිල් රෂීඞ් සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කරමින් ශ්‍රී ලංකා පිල අමාරුවේ දැම්මේය.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමේදී ලකුණු 240 කට දැවී ගිය අතර එංගලන්තයට ලකුණු 96 ක මුල් ඉනිමේ වාසියක් ලැබිණ. දෙවැනි ඉනිමේදී ලබාගත් ලකුණු 3 ත් සමගින් එංගලන්ත කණ්ඩායම මේ වනවිට ශ්‍රී ලංකාවට වඩා ලකුණු 99 ක් ඉදිරියෙන් සිටී.
තේ පානයට මඳ වේලාවකට පෙර කඩුල්ලක් දැවී ලකුණු 170 ක් ලබා සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ අවසන් කඩුලු 9 ම ලකුණු 67 ක් තුළදී බිඳ වැටිණ. මෙම කඩුලු 9 න් කඩුලු 5 ක් අදිල් රෂීඞ් විසින් හිමිකරගන්නා ලද අතර බෙන් ස්ටෝක්ස් තවත් කඩුලු 3 ක් දවාගත්තේය. අනෙක දුවද්දී දැවී යාමක් විය.

ආරම්භක පිතිකරුවන් දෙදෙනාගෙන් අයෙක් ලකුණු 31 දී ආපසු ක්‍රීඩාගාරයට ගියද එංගලන්ත නායකයාගේ දෑත් අතරින් උඩපන්දු දෙකක් ගිළිහී යාමත් සමගම ‘මේ එස්.එස්.සී. ක්‍රීඩාංගණය’ යන්න තරයේ සිහිතබා ගනිමින් පිතිහරඹයේ යෙදුණු දිමුත් කරුණාරත්න සහ ධනංජය ද සිල්වා හීන්සීරුවේ ශ්‍රී ලංකා ඉනිම ගොඩනඟන්නට වූහ.

දිමුත් කරුණාරත්න ලකුණු 02 ක් පමණක් ලබා සිටියදී පිත්තේ පිටත දාරයේ වැදී ආ ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පන්දුවක් පළමු ස්ලිප් හි සිටි ජෝ රූට්ගේ දෑතේ වැදී හතරේ සීමාව වෙතට ඇදී ගියේය. දිවා ආහාරයෙන් පසුව නැවතත් පන්දුව අතට ගත් බ්‍රෝඞ් දකුණත් පිතිකරුවා වන ධනංජයගේ පිත්තේ පිටත දාරය සොයා ගැනීමට සමත් වූ නමුත් එවරද පළමු ස්ලිප් හිටි එංගලන්ත නායකයා උත්සාහයන් දෙකකින් පසු උඩපන්දුව බිම දැම්මේය.

මෙම අවස්ථාවෙන් අනගි ප්‍රයෝජන ගත් පිතිකරුවෝ දෙදෙනා විනාඩි 141 කදී දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 142 ක් එකතු කළහ. දෙදෙනා අතර සම්බන්ධතාව බිඳී ගියේ කීටන් ජෙනිංග්ස්ගේ තවත් විශිෂ්ට පන්දු රැකීමකිනි. විනාඩි 141 ක් දිගුවූ ධනංජයගේ ඉනිම අලංකාර හතරේ පහර 8 කින් සමන්විත වී තිබිණ. විනාඩි 212 ක් පුරා තණතීරුවේ රැඳෙමින්, තේ පානය දක්වාම සිය කඩුල්ල රැකගත් දිමුත් කරුණාරත්න පන්දු 121 කට මුහුණ දී හතරේ පහර 9 ක් සිය ඉනිමට ඇතුළත් කර තිබිණ.
පළමු කඩුල්ල ජැක් ලීච් විසින් හිමිකරගන්නා ලද නමුත් එය සම්පූර්ණයෙන්ම පාහේ ලීච්ගේ වාසනාවත් ගුණතිලකගේ අවාසනාවත් මත රැඳුනු දැවී යාමක් විය.

එංගලන්ත පන්දු යවන්නන් හමුවේ නොබියව සිය පහර කරා ගිය වමත් පිතිකරුවා සිය සීමාවෙන් ඉදිරියට පැමිණ පන්දුවට මුහුණ දුන්නේය. මිඞ් විකට් කලාපය ඉලක්ක කළද පන්දුව ගුණතිලකගේ පා ආවරණයේ වැදී ඇදී යද්දී පසුපසට දිවයමින් පන්දුවේ ගමනට අවහිර කළ කීටන් ජෙනිංග්ස්ගේ දෑත් අතර එම උඩපන්දුව සිරවිය.
ඊයේ සවස තරගය නතර කරන විට කඩුලු 7 කට ලකුණු 312 ක් ලබා සිටි එංගලන්ත ඉනිම අහවර කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට අවශ්‍ය වුයේ තවත් විනාඩි 24 ක් පමණි.

ඇන්ජලෝ මැතිව්ස්ගේ අගනා උඩපන්දු දෙකක් නිසා ඩිල්රුවන් පෙරේරා කඩුලු 3 ක් දවාගත් අතර ස්ටුවර්ට් බ්‍රෝඞ්ගේ පා පසුපසින් පන්දුව කඩුල්ලට යැවූ ලක්ෂාන් සඳකැන් සිය හොඳම ටෙස්ට් පන්දු යැවීම වාර්තා කළේය.

ටෙස්ට් තරග 10 කට ක්‍රීඩා කර ඇති චයිනමන් පන්දු යවන්නා, පසුගිය වසරේදී ඉන්දියාවට එරෙහිවද කඩුලු 5 ක් දවාගත් නමුත් මෙම තරගයේදී එංගලන්තයට එරෙහිව ලකුණු 95 කට කඩුලු 5 ක් දවාගැනීම ඔහුගේ හොඳම ටෙස්ට් පන්දු යැවීම ලෙසින් සටහන් වේ.

……………………………………….කෙළිමඩල ඇසුරෙනි…………………………………


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *