Home » දේශීය පිටිය » තයිබු ශ්‍රී ලංකා පළමුපෙළ තරඟාවලියට එකතුවේ..

තයිබු ශ්‍රී ලංකා පළමුපෙළ තරඟාවලියට එකතුවේ..


සිම්බාබ්වේ ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක ටටෙන්ඩර් තයිබු 2018/2019 පළමු පෙළ ක‍්‍රිකට් තරගාවලියේදී බදුරලිය ක‍්‍රීඩා සමාජය නියෝජනය කිරීමට පැමිණ ඇති අතර ඔහු සිය පළමු පුහුණු සැසියට ඊයේ සහභාගි විය. මෙවර පළමු පෙළ තරගවාරයේදී බදුරලිය ක‍්‍රීඩා සමාජය වෙනුවෙන් සියලූම තරගවලට සහභාගි වන බව සිම්බාබ්වේ හිටපු නායකයා ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.

‘‘මට ආයිත් පළමු පෙළ ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන්න උවමනාවක් තියෙනවා. එ් නිසා මම ශ‍්‍රී ලංකාවේ තරගවාරයට ක‍්‍රීඩා කරන්න කැමැත්තෙන් තමයි හිටියේ. මගේ හොඳ මිත‍්‍රයෙක් තමයි ජාත්‍යන්තර ක‍්‍රිකට් විස්තර විචාරක රොෂාන් අබේසිංහ. ඔහු ඉතාමත් හොඳ මිත‍්‍රයෙක්. ඔහුට මම මේ සම්බන්ධයෙන් කිව්වහම එයා තමයි මට බදුරලිය ක‍්‍රීඩා සමාජය ක‍්‍රීඩා කරන්න අවස්ථාව ලබාදුන්නෙ.’’ යැයි තයිබු පවසයි.

ඊයේ පැවැති පුහුණු සැසියෙන් තමා ඉතාමත් ප‍්‍රබෝධයට පත්වූ බවද තයිබු වැඩිදුරටත් සදහන් කර සිටියේය. ‘‘ඇත්තටම කාලෙකට පස්සෙ පළමු පෙළ තරගාවලියකට ක‍්‍රීඩා කරන්න ලැබීම ලොකු සතුටක්. මම පළමු පුහුණු සැසියේදී ගොඩක් සතුටට පත් වුණා.’

ටටෙන්ඩර් තයිබු රාගම ක‍්‍රීඩා සමාජයට ක‍්‍රීඩා කරන්න කැමැති වුවත් ඔහු ජාත්‍යන්තර ක‍්‍රිකට් නායකයකු බැවින් ඔහුට කරන ගෙවීම් කිරීමට නොහැකි බවත් ඔහුගෙන් නොමිලේ සේවයක් ලබා ගැනීමට රාගම ක‍්‍රීඩා සමාජයේ නිලධාරීන් අකමැතිවීම හේතුවෙන් බදුරලිය ක‍්‍රීඩා සමාජයට තයිබුව සම්බන්ධ කළ බව රොෂාන් අබේසිංහ මහතා ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය.

35 හැවිරිදි වියේ පසුවන තයිබු කිසිදු මුදලක් නොගෙන බදුරලිය ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන බව එම ක‍්‍රීඩා සමාජයේ සභාපති සුමිත් පෙරේරා ‘දිවයින’ කළ විමසීමකදී පැවසීය. ‘තයිබු අපි වගේ දුප්පත් ක‍්‍රීඩා සමාජයකට සම්බන්ධ වීම ලොකු දෙයක්. අපි බොහොම අමාරුවෙන් නැගිට්ට ක‍්‍රීඩා සමාජයක්. සමහරු කියනවා අපි තයිබුට ලොකු මුදලක් දීලා ගෙනල්ලා කියලා. අපේ ක‍්‍රීඩා සමාජයෙන් ඔහුට සත පහකවත් මුදලක් ගෙවලා නැහැ. ජාතික කණ්ඩායමක නායකත්වය දරපු විදෙස් ක‍්‍රීඩකයෙක් සම්බන්ධවීම අපිට මේ තරගාවලියේදී ලොකු ශක්තියක්. ඔහු මේ තරගවාරයේදී සියලූම තරග ක‍්‍රීඩා කරන බවට දැන්නුවා.’ යැයි බදුරලිය ක‍්‍රීඩා සමාජයේ සභාපතිවරයා පවසයි.

කෙසේ වෙතත් තයිබුට නවාතැන් පහසුකම්, ආහාර පාන සහ ප‍්‍රවාහන පහසුකම් යන සියල්ල ක‍්‍රීඩා සමාජයෙන් ගෙවන අතර තරග මුදලක් ඔහුට ලබානොදෙන බව බදුරලිය ක‍්‍රීඩා සමාජයේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය. ‘‘අපි තයිබුට ගෙයක් අරන් දීලා තියෙනවා. ඔහුට අවශ්‍ය සියලූම පහසුකම් අපි ලබාදෙනවා. ඔහු එ්වා බලාපොරොත්තු නොවුණත් අපි එ් දේවල් ලබාදෙනවා.’’

35 හැවිරිදි ටටෙන්ඩර් තයිබු 2004-2005 කාල සීමාවේදී සිම්බාබ්වේ කණ්ඩායමේ නායකත්වය දැරූ අතර ඔහු ටෙස්ට් තරග 28 කදී ශතකයක් සහ අර්ධ ශතක 12 ක් සමග මුළු ලකුණු 1546 ක්ද එක්දින තරග 150 කදී ශතක දෙකක් සහ අර්ධ ශතක 22 ක් සමග මුළු ලකුණු 3393 ක්ද ලබා තිබේ. 2012 වසරෙන් පසුව ඔහුට සිම්බාබ්වේ ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමි නොවුණි. ජාත්‍යන්තර ක‍්‍රිකට් පිටියෙන් සමුගන්නා විට තයිබු එක්දින තරග 29 කට සහ ටෙස්ට් තරග 10 කට සිම්බාබ්වේ පිලට නායකත්වය ලබාදී තිබුණි.තයිබු ක‍්‍රීඩා කරන පළමු තරගය ලබන 14 වැනිදා පැවැත්වෙන අතර එම තරගය සැරසන්ස් ක‍්‍රීඩා සමාජය සමගින් පැවැත්වේ.

මේ අතර ඉන්දියාවේ රංජිත් කුසලානයේදී තමිල්නාඩු ප‍්‍රාන්තය නියෝජනය කරන ක‍්‍රීඩකයකු මෙන්ම ඉන්දීය ජාතික කණ්ඩායමේ කඩුලූ රකින කී‍්‍රඩක දිනේෂ් කාර්තික් සමග ක‍්‍රීඩා කරන ආනන්ද් සුබ‍්‍රමනියම්ද මෙවර තරගවාරයේදී බදුරලිය ක‍්‍රීඩා සමාජය නියෝජනය කරන බව එහි නායක අලංකාර අසංක පවසයි. අලංකාර අසංක මෙරට පළමු පෙළ ක‍්‍රීඩා සමාජ තරගාවලියේ පිට දග පන්දු යවන්නකු ලෙස වසර ගණනාවක් පළමු පන්දු යවන්නන් තිදෙනා අතර සිටියද ඔහුට කිසිම අවස්ථාවක් නොලැබීම විශේෂත්වයකි.

මේ අතර බදුරලිය ක‍්‍රීඩා සමාජය ඉතාමත් අපහසුවෙන් පවත්වාගෙන යන බවත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයෙන් ඉකුත් වසර දෙකේදී රුපියල් මිලියන අටක් හෙවත් ලක්ෂ 80 ක මුදලක් තම ක‍්‍රීඩා සමාජයට නොගෙවූ බවත් බදුරලිය ක‍්‍රීඩා සමාජයේ සභාපති සුමිත් පෙරේරා මහතා පවසයි.

‘‘අපි බොහොම අමාරුවෙන් තමයි තරගාවලිය පවත්වාගෙන යන්නෙ. වසරකට තරග 28 ක් විතර පවත්වන්න තියෙනවා. එ් සදහා එක්කෝටි විසි ලක්ෂයක් විතර වැයවෙනවා. අපිටම කියලා ක‍්‍රීඩාංගණයක් නැහැ. අපිට පහසුකම් නැහැ කියලා තමයි සල්ලි කපලා තියෙන්නෙ. මේ සම්බන්ධයෙන් නඩු කියන්නත් සල්ලි නැහැ. එහෙම වුණොත් අපිට ක‍්‍රිකට් එකට වියදම් කරන්න සල්ලි නැති වෙනවා. නමුත් අපිට වෙලා තියෙන අසාධාරණය සම්බන්ධයෙන් ක‍්‍රීඩා ඇමැතිවරයාට සහ එහි ලේකම්වරයාට ලියුම් දහයක් විතර දුන්නා. එ්ත් තවම කිසිම පිළිතුරක් නැහැ. මේ පාර සල්ලි අපිට දුන්නත් ඉස්සෙල්ලා එන්න තියෙන මුදල් හිටපු කට්ටියත් එක්ක බලාගන්න කියලා ක‍්‍රීඩා අමාත්‍යංශ කර අරිනවා.’’

………………………..දිවයින/ අසේල විතාන……………………………….


About Isuru Weerarathna

Isuru Weerarathna

Digital Media Entrepreneur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *